කෘත්‍රිමව ඉදවිය හැක්කේ
කලින් ලිපියේ සදහන් කළ ක්ලයිමෙක්ට්‍රික්
පලතුරු පමණි. මේවා සම්පූර්ණයෙන් හොදින් පැසුණු පසු හා නියමිත ප්‍රමාණයට පැමිණි පසු ඵල නෙලා ගැනීම සිදු කළ යුතුයි.ඉන් පසු
ඉදීම සිදු වේ. අද විශාල වශයෙන් කෘත්‍රිම ක්‍රම යොදා ඉදවන්නේ මෙම වර්ගයේ
පලතුරුයි. මෙම පලතුරුවල නෙලා ගත් පසු
තත්වය, ද්‍රව ප්‍රමාණය,පෘක්ටෝස් ප්‍රතිශතයආදීගුණවැඩිවීම සිදු වේ.ක්ලයිමෙක්ට්‍රික් නොවන පලතුරු ඉදුණු පසු නෙලා ගත යුතු අතර නෙලා ගත් පසු
ඉදීම සිදු නොවේ. එබැවින් නෙලා ගත් පසු කෘත්‍රිම ක්‍රම භාවිතයෙන් ඉදවීම කළ නොහැකිය.
ගසක මල් පිපී, ඵල හට ගෙන, ඒවා පැසී, මෝරා ඉදීම කියන සංසිද්ධි ස්වභාවධර්මයේ නීතියට අනුකූලව සෙමින් සිදු වන සංකීර්ණ ජෛව රසායනික ක්‍රියාවලියකි.එහෙත් පලතුරු ආහාරයට ගැනීමට උනන්දු වන වත්මන් පාරිභෝගිකයා තමන් මිලදී ගන්නේ, සෞඛ්‍යාරක්ෂිත පලතුරුද, නැතිනම් කෘත්‍රිමව ඉදවූ (සාමාන්‍ය ව්‍යවහාරයේ පරිදි බෙහෙත් ගසා ඉදවූ) පලතුරුද යන්න තෝරා බේරා ගැනීමේ උභතෝකෝටිකයකට මුහුණ දී සිටී. කෙසේ නමුත් මෙලෙස පලතුරු වෙළෙන්දෝදුර පළාත්වලින් ගස් පිටින් අඩු මුදලට
මිලදී ගෙන නො මේරූ ගෙඩි පවා කඩා, අමු ගෙඩි ලෙස ප්‍රවාහනය කර කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයයන් භාවිත කර ඉදවා, නැවුම් පලතුරු ලෙසින් වෙළද පොළට ඉදිරිපත් කරති
කෘත්‍රිමව පලතුරු ඉදවීම සඳහා "කාබයිඩ්" නමැති තහනම් රසායනික ද්‍රව්‍යය සහ, "එතපෝන්"නමින් හඳුන්වන රසායනික ද්‍රව්‍ය භාවිත කෙරේ.
1.පලතුරු ඉදවීමට සඳහා කාබයිඩ්
භාවිතය
මෙය රසායනිකව කැල්සියම් කාබයිඩ් (CaC2)
ලෙසින් හැඳින්වෙන අතර, හුණු නිෂ්පාදනයේදී අතුරු ඵලයක් ලෙසටද සෑදේ. සංශුද්ධ කාබයිඩ් අවර්ණ වන අතර,අසංශුද්ධ කාබයිඩ් අළු පැහැයට හුරු හෝ අඳුරු පැහැයෙන් පැවතිය හැකිය. ලාක්ෂණික සුදුලූණු ගණ්ධයක් සහිතය. කාබයිඩ වලට ජලය මුසු වීමේදී ඇසිටලීන් (C2H2)වායුව නිකුත් කරයි. ඉට අදාළ ප්‍රතික්‍රියාව
පහත දැක්වේ.
CaC2 (s) + 2H2O(l) Ca(OH) 2(s) + C2 H2(g)
මෙම වායුව පලතුරු ස්වභාවිකව ඉදීමේ ක්‍රියාවලියට ඉවහල් වන ශාක හෝමෝනයක් වන එතිලීන් රසායනිකයට සමාන ගුණ දක්වයි. එබැවින් පලතුරු කෘත්‍රිමව ඉදීමේ ක්‍රියාවලියට මෙම රසායනිකය යොදා ගනු ලබයි. එහිදී සැබවින්ම යොදාගත
යුත්තේ ඇසිටලීන් වායුවට පලතුරු නිරාවරනය කිරිම වුවද බොහෝ වෙළදුන් සිදු කරනුයේ
පලතුරු මතට කාබයිඩ් යොදා එයට ජලය ඉසීමයි.මෙ සදහා බහුලව යොදා ගන්නා අසංශුද්ධ කාබයිඩ් වල, ආසනික්, පොස්පරස් හයිඩ්රයිඩ්, පොස්පීන්, ආසීන් වැනි, විෂ සහිත රසායනික සංයෝගයන්ද අඩංගු වෙයි. මෙයට අමතරව පලතුරු මතට කාබයිඩ් ඉසීමෙන් සයනයිඩ්ද සැදෙයි.
කාබයිඩ්වලින් ඇති විය හැකි
සෞඛ්‍ය ගැටළු.
කාබයිඩ් මෙන්ම, කාබයිඩ්වල ඇති අනෙකුත් විෂ රසායන ද්‍රව්‍යයයන් බොහොමයක්ද පිළිකා කාරක බව සොයා ගෙන ඇත. මෙයට අමතරව මෙම රසායනික ද්‍රව්‍යයයන් ශරීරගත වීමෙන් මුඛය, ආමාශය, උගුර යන ස්ථානවල දැවිල්ල සහ තුවාල ඇති වීම, ලේ සහිතව හෝ රහිතව වමනය සහ පාචනය ඇති වීම, සම මත පලු දැමීම, ඇස් දැවිල්ල හා ඇස් වලට ස්ථිර ලෙස හානි සිදු වීම, ශරීරය අප්‍රාණික වීම, අත් පා වල ඇති වන හිරි ගතිය, කැස්ස, හතිය සහ ඇදුම රෝගය, ගබ්සා වීම් සහ අංගවිකල දරුවන් බිහිවීම වැනි සංකූලතා ඇති විය හැකි බවත්, සොයා ගෙන ඇත.
අපගේ අවධානයට ලක් විය යුතු තවත් වැදගත් කාරණාවක් වනුයේ, පලතුරු වලට යොදන පළිබෝධනාශක වර්ගවල ශේෂ කොටස් (residuals) සමග "කාබයිඩ්" වල ඇති රසායනික ද්‍රව්‍යයයන් ප්‍රතික්‍රියා කිරීමෙන් අනපේක්ෂිත සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බව, විද්‍යාඥයන් අවධාරණය කරයි.
2.පලතුරු ඉදවීමට සඳහා එතපෝන් භාවිතය
එතපෝන් (Ethephon) රසායනිකව, "2-ක්ලෝරෝ එතිල් පොස්පරික් ඇසිඩ්" ලෙස හැඳින්වෙන අතර, පලතුරු වල මල් හට ගැනීම ක්‍රමවත් කිරීම සඳහා භාවිත කෙරෙන රසායනිකයකි. (plant
growth regulator) පලතුරු ඉදවීම සඳහාද භාවිත කෙරේ.
මෙම රසායනිකයේ විෂභාවය (LD-50) අඩු වුවද, දීර්ඝ කාලීන ප්රතිඵල පිළිබඳ තවම විද්‍යාඥයන් අතර නිශ්චිත එකඟතාවක් නොමැති බැවින්, පලතුරු මතට කෙළින්ම යෙදීම සහ අනුමත මාත්‍රාවට වඩා වැඩියෙන් යෙදීම නිර්දේශ කරන්නේ නැත.
එතපෝන් ශාක (පලතුරු) තුළදී පොස්පේට් , එතිලීන් සහ ක්ලෝරයිඩ් බවට බිඳ වැටේ. මෙම එතිලීන් පලතුරු ඉදීමටද හේතු වන ශාක රසායනිකයකි.එතපෝන් යෙදූ ඇතැම් නිෂ්පාදන තුළ මොනොක්ලෝරෝ ඇසිටික් ඇසිඩ් (Monochloroacetic acid) සොයා ගෙන තිබේ. (http://extoxnet
. orst .edu / pips/ethephon.htm) ජලය ක්ලෝරිනීකරණය කිරීමේදී ද, ජලයේ තිබෙන කාබනික සහ අකාබනික සංයෝග සමග ක්ලෝරීන් ප්රතික්රියා කිරීමෙන් මෙම සංයෝගය සෑදෙන අතර පානීය නළ ජලයේ තිබිය හැකි මොනොක්ලෝරෝ ඇසිටික් ඇසිඩ් මාත්රාව සඳහා සීමා මායිම් යුරෝපා රටවල් වල පනවා තිබේ. මෙම රසායනිකය නිතර සහ අනුමත මාත්‍රාවට වඩා වැඩියෙන් ශරීරගතවීම පිළිකා සඳහා පවා හේතු වන බව පැවසේ. ( http://www.ewg.org/tap
- water/chemical -contaminants/Monochloroacetic-acid/2450/)
කෙසේ වෙතත් පලතුරු සමග එතපෝන් ශරීරගතවීම උදරයේ සහ ස්නායු පද්ධතිය ආශ්රිත සංකූලතා වලට හේතුවිය හැකි බව (විශේෂයෙන් අවුරුදු 06 ට අඩු ළමුන් සඳහා) සැලකේ.
පැනමා රාජ්‍යය පලතුරු ඉදවීම සඳහා එතපෝන් භාවිතය තහනම් කර ඇත. ඉන්දියාව, වර්ෂ 2010 දී එතපෝන් යෙදූ පලතුරු වෙළෙඳපොළෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක් දියත් කළද, මහා පරිමාණ පලතුරු වෙළෙන්දන්, එතපෝන් වෙළෙන්දන්ගේ සහ වෙළෙන්ඳන්ගේ වරප්රසාද වලට යටවුණු නිලධාරීන්ගේ බලපෑම මත එකී වෑයම අත් හරින ලදී.
පලතුරු කෘත්‍රිමව ඉදවීමේ නිර්දේශිත ක්‍රමය
කැල්සියම්" හෝ "සෝඩියම් හයිෙඩ්රාක්සයිඩ්" මිලි ලීටර් 1 ක් ජලය ලීටර් 1 ක දිය කර, එයට "එතපෝන්" දියරයෙන් මිලි ලීටර් 1 ක් මිශ්‍ර කර සාදා ගනු ලබන ද්‍රාවණයකින්බාස්කට් එකකට දමා, වසන ලද කාමරයකට මේරූ පලතුරු පමණක් දමා, එම කාමරය තුළ එකී භාජනය පැය 24 ක කාලයක් තැබීමෙන් ද්‍රාවණයකින් නිකුත් කෙරෙන "එතිලීන්" වායුවට පලතුරු පැය 24 ක කාලයක් නිරාවරණය කිරීමෙන්, පලතුරු කෘත්‍රිමව ඉදවීම කළ හැකිය.
මෙම ක්‍රමයට පටහැනි ලෙස පලතුරු ඉදවීමේ සියලුම ක්‍රම, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2011. 05. 19 දින නිකුත් කෙරුණු චක්‍රලේඛයෙන් තහනම් කර ඇත. තවද මෙම ක්‍රමයට ඉදවිය හැක්කේ පැපොල්, කෙසෙල්, අඹ සහ අලි පේර වැනි පලතුරු පමණක් වන අතර, එත්රල් දියරය පලතුරු මතට කෙළින්ම යෙදීමද තහනම් කර ඇත.කෙසේ වෙතත් සියලුම වෙළෙන්දන්,එතපෝන් කෙළින්ම පලතුරු මතට ස්‌ප්‍රේකිරීමටහෝ කාබයිඩ් පලතුරු මතට ඉසින්නට පෙළැඹී ඇති බව දකින්නට ඇති අතර, වෙළෙඳ පොළේ තිබෙන බොහොමයක් පලතුරු මෙසේ ඉදවූ ඒවා විය හැකිය. මේ නිසා අප ආහාරයට ගනු ලබන පලතුරුවල සෞඛ්‍ය ආරක්ෂිතභාවය මෙන්ම, ගුණාත්මකභාවයද බරපතළ ලෙස හානියට පත්ව ඇත. කෙසේ වෙතත් පලතුරු මත මෙම රසායනික සංඝටක තිබෙනවාදැ, යි රස පරීක්ෂක වාර්තාවක් කැඳවා, නීති මගින් මෙම කූට වෙළෙඳුන් අච්චු කිරීමට තරම් ශක්තිමත් නීති රෙගුලාසි මෙතෙක් සම්පාදනය කෙරී නොමැති නිසාවෙන්, ප්‍රායෝගිකව මෙය නතර කිරීම හෝ නීති මගින් කටයුතු සිදුකිරීම දුෂ්කර කාර්යක්ව ඇත.
කෘත්‍රිමව ඉදවන ලද පලතුරු හදුනාගන්නා අාකාරය
පසු ලිපියකින් සොයා බලමු.
පී.ඩී.පී.ධනසේන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී-
අඹන්ගගකෝරළේ
0 comments:
Post a Comment