September 22, 2013

තෙල් නැති අනාගත ලෝකය

තෙල් නැති ලෝකය කෙසේ වෙයි ද? නැවතත් අපට හුළු එළි හා පන්දම් යුගයක්, බරකරත්ත යුගයක් හා මී ගව නඟුල් යුගයක් සමග උදාවෙයි ද? පොසිල ඉන්ධන යොදා ගනිමින් අප ගොඩනඟාගෙන ඇති දැවැන්ත නගර, නැව්, ගුවන් යානා, යාන වාහනවලට එවිට කුමක් වේවි ද? කොටින්ම මිනිස් ශිෂ්ඨාචාරය එවිට අවසන් ද?

ලෝකය පැත්තෙන් මේ පිළිබඳව සිතා 2030 වන විට ලොවේ බලශක්ති අවශ්‍යතාවය ජලය, සුළං හා සූර්ය බලයෙන් තනිකරම සැපයිය හැකි ක‍්‍රමවේදයක් එක්සත් ජනපද විද්වතුන් දෙදෙනෙකු වන මාර්ක් ජැකොබියන් හා මාර්ක් ඩෙලිව් යන දෙදෙනා ඉදිරිපත් කර ඇත. ඔවුන්ගේම වදන් වලින් එය මෙසේය.

"අද (2009) උපරිම විදුලිබල ශක්ති පරිභෝජනය සටහන් වන්නේ ටෙරාවොට් 12.5 (ටි‍්‍රලියන වොට්) ලෙසය. අනාගත පුරෝකතන අනුව මෙය 2030 දී 16.9 TW ද, 2050 දී 30 TW ද වේ. මෙ අතිරේක ශක්තිය පොසිල ඉන්ධනවලින් අපි ලඟා කරගැනීමට ගියහොත් එය තවත් නොවිසඳුණු ප‍්‍රශ්න ගණනක් ඇති කරයි. නමුත් අපි තිරසාර බලශක්තිය වන ජලය, සුළ, සූර්යා (WWS) භාවිතා කළහොත් පළමුව මේ ඉල්ලූම 11.5 TW දක්වා අඩුකර ගත හැක. මන්ද විදුලිකරණය විසින් කාර්යක්ෂමතාවය ඉහළ නංවන නිසාය. උදාහරණයක් ලෙස ඞීසල් යොදාගත් වාහනයක කාර්යය කිරීම සඳහා වැයවන්නේ 20%ක පමණ ශක්තියකි. අනෙක්වා තාපය ලෙස හානි වේ. නමුත් මෙය විදුලිබලයෙන් දුවයි නම් එහි කාර්යය ප‍්‍රමාණය 75-80% තරම් ඉහළ අගයකට ගත හැක.

කෙසේ වෙතත්, අපගේත් වෙනත් අයගේ සමීක්ෂණ අනුව ලෝකය පුරා සුළං ශක්තිය 1,700 TW පමණ ද, සූර්ය ශක්තිය 6500 TW දක්වා ද ඇත. උවමනා ප‍්‍රමාණය මෙන් දෙතුන් සිය ගුණයකි. විවෘත සයුර, පරිසර ආරක්ෂණ ප‍්‍රදේශ, කඳුකර ප‍්‍රදේශ ආදී සියල්ලේ ගැබ්ව ඇති සුළං, සූර්ය ශක්තිය ඉවත් කළ ද, 40-85 TW දක්වා සුළං ශක්තියක් ද, 580 TW දක්වා වූ සූර්ය ශක්තියක් ද උකහා ගත හැකි බව සමීක්ෂණ පෙන්වා දෙයි. නමුත් මේ වනවිට (2009) අපි උකහාගෙන ඇත්තේ 0.02 TW වූ සුළං බලයක් හා 0.008 TW වූ සූර්ය බලයක් පමණි. අපේ සැළසුම තව වසර 10කින් 20කින් සිදුවන තාක්ෂණ දියුණුව පිළිබඳව නොතකමින් අද පවතින තාක්ෂණ දියුණුව මත පදනම්ව ජලය, සුළං හා සූර්ය බලයෙන් වැඩ කරනා ලෝකයක් තැනීමයි. අපගේ සැළසුමට අනුව ශක්තිය අවශ්‍ය වේලාවට කලානුරූපව නිකුත් කිරීමේ හැකියාවට ද යටත් ජලය, සුළං හා සූර්ය බලයේ ඉතාම කාර්යක්ෂම සම්මිශ‍්‍රණයක් ඇති කරගන්නා ලදි.

එ අනුව 2030 අවශ්‍යතාවයෙන් (11.5 TW) 9%ක ජලය (ජල විභවය, මහුදු රළ හා භූ තාපය) ඇසුරු කරගෙන නිපදවන බවත්, 51%ක් සුළං බලයෙන් නිපදවන බවත්, 40ක් පී.වී. සූර්ය හා සී. එස්. ටී. සූර්ය බලයෙන් නිපදවන බවත්, අපෝහණය කරනා ලදි.

අවශ්‍ය ශක්තියෙන් 51%ක් (5.86 TW) සැපයීම සඳහා 5 MW වර්ගයේ සුළං ටර්බයින මිලියන 3.8ක් (30% ප‍්‍රායෝගික ධාරිතාව සහිතව) අවශ්‍ය වේ. මෙය බැලූ බැල්මට විශාල කාර්යයක් ලෙස පෙණුන ද සෑම වසරකම කාර් හා රථවාහන මිලියන 71ක් ලෝකය නිපදවන බව සිහියට ගත යුතුය.

අවශ්‍ය ශක්තියෙන් 40%ක් (4.6 TW) නිපදවීම සූර්ය ශක්තියට භාර වේ. මෙයින් 30%ක් පමණ දැනට පවතින නිවාස හා වානිජ ගොඩනැඟිලිවල වහලවල් 1.7 බිලියන (0.003 TW) සූර්ය කෝෂ (පී.වී) බවට පරිවර්තනයෙන් ලබා ගත හැක. ඉතිරිය සඳහා (300 MW) ප‍්‍රමාණයේ මහා සූර්ය බලාගාර 89,000ක් පමණ අවශ්‍ය කෙරේ. (17%ක ප‍්‍රායෝගික ධාරිතාව සහිතව) (ක්‍ීඔ 49ල000ල ඡුඪ - 40ල000 ලෙස) එමෙන්ම ජලය ගැන සලකා බලත් දී තවත් ඉහළ ගණයේ (1300 MW වලින් ඉහළ) බලාගාර 900ක් හෝ එයට සරිලන ධාරිතාවක් අවශ්‍ය අතර, දැනටමත් එයින් 70%ක් පමණ ලොවේ ඇත. මෙයට අමතරව වඩදිය - බාදිය මත ක‍්‍රියා කරනා බලාගාර 490,000 (1 MW බැගින්) භූ තාප බලාගාර 5,350 (100 MW බැගින්) ඇති කළ යුතුය.

ඉහත කී මිලයන 3.8ක් වූ සුළං බලාගාර සඳහා වර්ග කි.මී. 50ක් පමන (ලොවේ ඉඩම්වලින් 1%ක් පමණ) අවශ්‍ය කෙරේ. වහලවල් මත නොවන සූර්ය කෝෂ 89,000සඳහා වර්ග කි.මී. 16.5ක් පමණ අවශ්‍ය කෙරේ. මෙය විශාල ඉඩම් ප‍්‍රමාණයක් වූවත් සුළං ටර්බයින් සඳහා භාවිත වන ඉඩම්වල යට කොටස වෙනත් කටයුතු සඳහා ද භාවිත කළ හැක. එමෙන්ම ඉහත කී බලය ගල් අඟුරු බලාගාරවලින් සපයන්නේ නම් ඒ සඳහා ඉහළ ගණයේ බලාගාර (1500 MW) 13,000ක් පමණ අවශ්‍ය වේ. ගල් අඟුරු බලාගාරයට, අඟුරු අංගනයට, ගල් අඟුරු පතලයට යන ඉඩම් සලකා බලනා විට මෙය ද ඉතා විශාල අගයක් බව කිව යුතුය. එමෙන්ම ගල් අඟුරු බලාගාරයක් පවිත‍්‍ර කටයුතු සඳහා වසරකට දින 46ක් (12.5%) වසා දමත් දී සුළං බලාගාරයක් වසා දමන්නේ දින 07ක් (2%) ක් හා සූර්ය බලාගාරයක් දින 07ක් (2%) ලෙස බව ද සැලකිය යුතුය.

මේ සඳහා ඉතා වටිනා ඛනිජ වන ලිතියම්, ඉන්දියම්, ප්ලැටිනම්, සිල්වර්, නියෝජයිමියම්, ටෙලිරියම් වැනි මූලද්‍රව්‍ය අවශ්‍ය කරයි. ඒ සඳහා තාක්ෂණික මැදිහත්වීමක් හා අමුද්‍රව්‍ය බෙදා හදා ගැනීමක් අවශ්‍යයි. මේ සඳහා වූ මූලික මුදල ඩොලර් ටි‍්‍රලියන 100ක් ලෙස සැලකේ ලෝකයේ වාර්ෂික දල දේශීය නිෂ්පාදනය ඩොලර් ටි‍්‍රලියන 60ක් ලෙස ගත්විට මෙය එතරම් සුවිශාල ආයෝජනයක් නොවේ. දෙවන ලෝක යුද සමයේ එක්සත් ජනපදයේ, රුසියාවේ හා යුරෝපයේ සියලූ කම්හල් අවි නිපදවීමට, ගුවන් යානා නිපදවීමට යොමු කළා සේ නව දේශපාලන අධිෂ්ඨානයක් ලොවට අවශ්‍ය කරයි. එතැනදී දැනට පවතින පොසිල ඉන්ධන ව්‍යාපාරයේ ධනය උපයන පිරිස්වල බලපෑම නොතකා හැරිය හැකි දේශපාලන අධිෂ්ඨානය ඉතා ප‍්‍රමුඛය.

ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ ද දෙමුහුන් වාහන මෙන්ම අවසාන වශයෙන් සූර්ය හෝ සුළං බලය විසින් නිපදවන හයිඩ‍්‍රජන් යොදාගත් වාහන බැට්රි බලයෙන් දුවන වාහන, සූර්ය බලයෙන් දුවන නැව් හෝ ගුවන් යානා ඉදිරි කාලයේ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ විප්ලවයක් සිදු කරනු ඇත. ඉදිරි දශයක තුළ මෙ වෙනස් මගක යෑම කළහොත් ලෝයට නව අනාගතයක් ඇතිවනු ඇත”.

ලෝකයේ තත්ත්වය එයයි. ලංකාවේ තත්ත්වය කවරක් ද? ලංකාවේ දැනට උපරිම විදුලි අවශ්‍යතාවය 2000 MW පමන වේ. එයින් 1200 MW පමණම ජල විභවයෙන් සැපිරේ. නමුත් ශක්තිය ලෙස ගත්කළ සැපැයෙන්නේ 30-45% අතර ප‍්‍රමාණයකි. කුඩා මධ්‍යම ජල ව්‍යාපෘති ද සලකා බැලූ කල තවත් (දැනට පවතින 170 MW අමතරව) 400 MW පමන නිර්මාණය කළ හැක. මේ අනුව ජල ශක්තිය 1800-2000 MW තත්ත්වයට උපරිම ලෙස ගෙන ආ හැක.

විදුලි ඉල්ලූම සීඝ‍්‍රයෙන් වැඩිවන හෙයින් 2030 වනවිට ලංකාවේ ඉහළම විදුලි ඉල්ලූම 7000 MW පමණ වනු ඇත. මේ නිසා අතිරේක 5000 MW සුළං, සූර්ය, ඉන්ධන හා භූ තාපයෙන් සැපයිය යුතුය.

ජීව ඉන්ධන මගින් ලබාගත හැකි උපරිම ජවය 1000 MW වන අතර, ඒ සඳහා දෙවැනි වගාවක්, යටි වගාවක් හෝ පූර්ණ වගාවක් ලෙස 800,000 පමන හෙක්ටයාර සංවිධානාත්මකව වගා කළ යුතුය. ජලය මෙන් ජීව ඉන්ධන ද පදනම් බලයක් වේ.

ශ‍්‍රී ලංකාවේ සුළං බලයේ විභවය 25,000 MW ලෙස සලකා ඇත. මෙයින් අඩුම තරමින් 4000 MW වත් උකහා ගත යුතුය. ඒ සඳහා 1 MW ජාවාගාර 4000ක් අවශ්‍ය වේ. එමෙන්ම සූර්ය බලය මගින් නිවාස හා ගොඩනැඟිලිවල අඩුම තරමින් මිලියනයක් වහලවල් සූර්ය බලයට (1 KW) යොමු කළහොත් එතැන 1000 MW බලයක් ඇති කළ හැක. සූර්ය උද්‍යාන හරහා තවත් 1000 MW බලයක් ඇති කළ හැක. මේ සඳහා ඩොලර් බිලියන 10ක් පමණ වැය වේ. කෙසේ වෙතත්, මේ සඳහා අපගේ බෙදා හැරීම් පද්ධතිය හා සම්පේ‍්‍රෂණ පද්ධතිය ස්වයංක‍්‍රීය සුපිරි (Smart Grid) තත්ත්වයට පත්කළ යුතුය.

අනාගත ලෝකය

අනාගත ලෝකයේ ඉතාම බලවත් මෙන්ම වැදගත්ම බලය වන්නේ ”ශක්තියයි”. කෙනෙක් ශක්තිය නිපදවන්නේ කෙසේ ද?, එහි අයිතිය ඇත්තේ කාට ද?, එහි මිල ගණන් කවරක් ද?, එය සියලූදෙනාට පහසුවෙන් ලබාගත හැකි ද?, එය පරිසරයට කරනා බලපෑම කුමක් ද? යන ප‍්‍රශ්න මත බලශක්තියෙහි අගය තීරණය වේ. අනිවාර්යෙන්ම පවතින තාක්ෂණයට විසඳුම් නැති වුවහොත් ඉතුරුව ඇති බලහක්ති ප‍්‍රභව සඳහා මාරක තරඟයක් ඇවිළී යනු නොඅනුමානය. එය දැනටමත් පොසිල ඉන්ධන හා ශල්ක සඳහා ඇති වී තිබේ. ඉදිරියේ දී සූර්ය බලය සැපයිය හැකි කාන්තාර, සුළං බලය සැපයිය හැකි ප‍්‍රදේශ මෙන්ම එකී ජාවාගාර නිර්මානය සඳහා යොදා ගත අමුද්‍රව්‍ය සඳහා මාරක පොරයක් ඇතිවිය හැක. එක්සත් ජාතීන් ඇතුළු ආයතන විසින් වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස විසඳිය යුතු ප‍්‍රශ්නය බල ශක්තිය සඳහා වන පොරය, යුද්ධය හා ත‍්‍රස්තවාදය බවට හැරවීම වැළැක්වීමය. එමෙන්ම පාරිසරික ව්‍යසන නිසා අතුරුදහන් වන ශිෂ්ඨාචාර හා සරණාගතයන් වන ජනතාව අතර, ත‍්‍රස්තවාදය ව්‍යාප්ත වීම වැළැක්වීමය. එක්සත් ජාතීන්ගේ සංවිධානය න්‍යාෂ්ඨික බලවතුන්ගේ ග‍්‍රහනයෙන් මිදුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයතනයක් විය යුතුය. ජාත්‍යන්තර මූල්‍ය ආයතන වැඩි වැඩියෙන් පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනය කරනා, පාරිසරික ව්‍යසනවලට වන්දි ගෙවනා ආයතන විය යුතුය. නැවත නොලැබෙන ඉන්ධන හා පරිසරය මත ව්‍යසනය පටවන ඉන්ධන සඳහා ලෝක පරිමානයෙන් යම් බදු පැනවීමක් ද බලාපොරොත්තු විය යුතුය. එහෙත් එය දැනටමත් බලවත් ජාතීන්ගේ තවත් අවියක් වීම වැළැක්විය යුතුය. ගෝලීය උණුසුම පිළිබඳ සාකච්ඡුාවල අවසාන එකඟතාවය එවැනි තිරසර සංවර්ධනයක් සඳහා පාර කපන්නක් විය යුතුය.

අනාගත ලෝකයේ තාක්ෂණය සීඝ‍්‍රයෙන් වෙනස් වේ. තාක්ෂණ විප්ලව 04ක් අප ඉදිරිපිට දැනට මතු වී ඇත. ඒවානම්

01. ක්වන්ටම් පරිගණකය සමග එන තොරතුරු තාක්ෂණයේ නව විප්ලවය හා එයින් ඇති වන අසීමිත සයිබර් අවකාශය

02. ඉතා ක්‍ෂුද්‍ර විද්‍යාවක් වූ නැනෝ තාක්ෂණයෙන් ඇති කරන බලපෑම සාමාන්‍ය ලෝකයේ දී සිදු කළ නොහැකි දෑ නැනෝ ලෝකයේ දී සිදුවීම නිසා එමගින් බලශක්ති හා අමුද්‍රව්‍ය ක්ෂේත‍්‍රයේ ඇතිවිය හැකි අසීමිත විප්ලවය.

03. ජීව ජාන විද්‍යාවේ පෙරලිය. මෙමගින් මානවයාගේ ආයු කාලය ජීව හැසිරීම, සෞඛ්‍යය හා අනන්‍යතාවයට ඇති කරන බලපෑම. එයම ඔහුගේ බලශක්ති පරිභෝජනයට හා සමාජ ජීවිතයට ඇති කරනා අසීමිත බලපෑම.

04. ක්‍ෂුද්‍ර ස්නායු තන්තු විද්‍යාවේ ඇතිවන විප්ලවය. එමගින් මානව චර්යා රටාවන්, මානසික රටාවන් සඳහා ඇති කරනා බලපෑම හා කළමනාකරණයේ දී එකී සිද්ධාන්ත යොදා ගැනීම නිසා මානව සමාජ ව්‍යුහයෙන් සිදුවන පෙරළිය. මෙය අධ්‍යාපනය, ව්‍යාපාර මෙන්ම දේශපාලන ව්‍යුහයන් බරපතල වෙනස්කමකට ලක් කරනු ඇත.

තාක්ෂණයේ සිදුවන මේ චතුර් විප්ලවයන්ගේ ප‍්‍රායෝගික අරමුණක් වනවා ඇත්තේ

- පොසිල ඉන්ධන දහනය නිසා ඇති වී ඇති වායූ දූෂණය වැළැක්විය හැකි ද යන්නට තාක්ෂණික විසඳුමක් ලබාදීම

- පරිසරයට හානි කර නොවන ලෙස ශක්ති නිපදවීමට පවතින තාක්ෂණයන් වඩාත් ඵලදායී හා කාර්යක්ෂම කිරීම. නව විදුලි උපකරණ, ජාවාගාරවල කාර්යක්ෂමතාව ඉහළ දැමීම, තොරතුරු ජාල මගින්, ශක්ති ජාලයන් කාර්යක්ෂම කිරීම, පාරිභෝගිකයා ශක්ති ඉතුරුව සඳහා දැනුවත් කිරීම ආදිය

- තිරසර නව ශක්ති ප‍්‍රභේද නිර්මාණය හා ප‍්‍රචලිත කිරීම ආදියයි

බටහිර ලෝකයේ යුරෝපය පදනම් කරගෙන මතු වූ ”මානව වාදයේ ” හරය වූයේ මානවයා සියල්ලට මූලිකය. ඔහුට සියල්ල ජයගත හැකිය යන අපේක්ෂා සහගත ආකල්පයයි. මානව වාදය සමග නූතන වාදය ද විද්‍යාත්මක විප්ලවය, කාර්මික විප්ලවය ද ගලා ආවේය. කාර්මික විප්ලවය ජනයා කොල්ලකන අධිරාජ්‍යවාදයක් විය. පසුව පරිසරය කොල්ලකන සංවර්ධන මාදිලියක් විය. එවිට පැන නැගුණු සෑම ප‍්‍රශ්නයකටම පිළිතුර ලෙස කීවේ තාක්ෂණය විද්‍යාව එකී ප‍්‍රශ්න කාලයාගේ ඇවෑමෙන් විසඳන බවය. වත්මන වඩාත්ම දියුණු බව විශ්වාස කරනා ලදි. අනාගතය එයටත් වඩා දියුණු විය යුතු බව ප‍්‍රකාශ කරනා ලදි. වර්ධනය තේමාව වූ අතර, එය ආර්ථික වර්ධනය විය.

අපි මානවයාගේ බුද්ධියට හා හැකියාවට නිගාදිය යුතු නොවෙමු. නමුත් ඔහුගේ හැකියාවට සීමා ඇත. ඔහු තවත් ජීවියෙකි. පරිසරයේම තවත් වෙන් කළ නොහැකි කොටසකි. මානවයා තමන් නොවන ලෝකය නගා ජයගැනීමට ගියහොත් එය මිහිකත මත හෙතෙම පිළිලයක් කරනු ඇත. මිනිස් තන්හාව ජයගැනීමට කවර තාක්ෂණයකට හෝ නොහැක. විනාශයෙන් ගැලවීමට මානව චින්තනය අනෙකා කෙරේත්, පරිසරය කෙරේත්, මතු පරපුර කෙරේත් සමානාත්මතාවයෙන් සිතිය යුතුය. එක් විද්‍යාවක් නොව දහස් විද්‍යාවන් පදනම් විය යුත්තේ මේ සමානාත්මතා දර්ශනය මතය.

(උපුටා ගැනීම - අමාත්‍ය පාඨලී චම්පික රණවකයන්ගේ හෙට මුළු රට එළියයි කෘතියෙනි)



0 comments:

Post a Comment