September 28, 2017

ආලෝකය, ශබ්දයක් ලෙස ගබඩා කිරීම

ආලෝකය, ශබ්දයක් ලෙස ගබඩා කිරීමට විද්‍යාඥයින් ප්‍රථම වරට සමත්වී තිබේ. ඕස්ට්‍රේලියාවේ Sydney (සිඩ්නි) විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ආලෝක තරංග මගින් දරාගෙන යන ඩිජිටල් (digital / සංඛ්‍යාංක) තොරතුරු microchip (මයික්‍රෝචිපය) තුල ශබ්ද තරංග බවට පරිවර්තනය කර තිබේ.

දත්ත ගබඩා කිරීම හා කළමනාකරණය සදහා ඉලෙක්ට්‍රෝන වෙනුවට ආලෝකය භාවිතා කරන පරිගණකවල photonic integrated circuit (ෆොටෝනමය සංඝටන පරිපථ) භාවිතා වේ. නව තාක්ෂණික සොයාගැනීම photonic integrated circuit තාක්ෂණයේ සංවර්ධනයට තීරණාත්මක ලෙස බලපානු ඇත.එලෙසම පරිගණකවල වැඩි උණුසුමක් සහ වැඩි ශක්ති පරිභෝජනයක් සිදුකරන විද්‍යුත්චුම්භක බාධක (electromagnetic interference) ඇතිනොවන පද්ධති සදහා නව තාක්ෂණය සංවර්ධනය කිරීමේ විභවයක් පවතියි.

ආලෝකය වේගවත් නිසා විදුලිසන්දේශන කාර්යයේදී එය ඉතා යෝග්‍ය වන නමුත් පරිගණකවල ක්‍රියායනය සදහා ආලෝකයේ අධි වේගය සුදුසු නොවේ. මේනිසා පර්යේෂකයින් ආලෝකය ශබ්ද තරංගවලට හැරවූ චිපයක් මගින් ආලෝකයේ වේගය අඩුකර පරිගණකයට සුදුසු ලෙස සැකසීමට උනන්දු වූ බව Nature Communication සඟරාව වාර්තා කරයි.

දැනටමත් ආලෝකය විදුලිසන්දේශනය සදහා භාවිතා කළද එම සංඥා අප භාවිතා කරන ඉලෙක්ට්‍රොනික උපකරණ වලදී ඉලෙක්ට්‍රෝනවලට පරිවර්තනය වේ. එනිසා බොහෝ ආයතන සම්පුර්ණයෙන්ම photonic microchip පද්ධතිවලට පරිවර්තනය වීමට උත්සහ කළද මෙතෙක් සාර්ථක වී නොමැත. නව සොයාගැනීම ඊටද පිලියමක් වීමේ විභවයක් ඇත.

“අපගේ පද්ධති කෙටි තරංග පථ වලට පමණක් සීමාවී නැත. එනිසා පෙර පද්ධතිවලට වඩා වැඩි වේගයකින් හා කාර්යක්‍ෂමතාවයකින්  එකවර විවිධ තරංග ආයාම වලින් යුත් උපකරණවල තොරතුරු ගබඩා කිරීමට සහ ලබාගැනීමට පුළුවන්” යැයි පර්යේෂණයේ පරිපාලක Birgit Stiller ප්‍රකාශ කරයි.

ප්‍රකාශ සන්නිවේදන (optical communication) පද්ධතිවලදී වර්තමාන සහ අනාගත අවශ්‍යතා සියල්ල සපුරාලීමට නව තාක්ෂණයෙන් හැකිවීම නිසා එය ප්‍රකාශ සන්නිවේදන ක්‍රියාවලියේ වැදගත් පියවරක් බව සම කතෘ මහාචාර්ය Benjamin Eggleton ප්‍රකාශ කරයි. වර්තමාන පරිගණක මාදිලි සහ අනාගත කොන්ටම් (quantum) පරිගණක අතර පරතරය photonic උපකරණ මගින් පියවනු ඇතැයිද වාර්තවේ සදහන් වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

https://youtu.be/fRm99RvbbEY?t=93

0 comments:

Post a Comment