April 17, 2017

අන්තර්ජාලය හරහා බිමට ලෙමනේඩ්

ජලය වීදුරුවක්, LED බල්බයක් සහ විදුලි ස්පන්ධන භාවිතා කර මිනිසුන්ගේ ඉන්ද්‍රිය සංවේදීතාව ප්‍රයෝගයෙන් රවටා ලෙමනේඩ් පානයක මිහිර අන්තර්ජාලය හරහා ලබාදීමට සිංගප්පූරුවේ විද්‍යාඥයින් සමත්වී තිබේ. එනම් පෙනුමෙන් ලෙමනේඩ්, රසින් ලෙමනේඩ් වුවත් එය ලෙමනේඩ් නොවේ. මෙලෙස අන්තර්ජාලය හරහා බෙදාහදා ගනිමින් ලෙමනේඩ් පානයක රස විදීමේ හැකියාව ලබාදීම සාර්ථක විය හැකි විභවයක් සහිත සැලැසුම් සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් විසින් ගොඩනගා ඇත.

පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකාවක් වන නිමේෂා රණසිංහ ප්‍රකාශ කළේ “සමාජ මාධ්‍ය හරහා බොහෝ ආහාර පාන වර්ගවල ජායාරුප හා වීඩියෝ දසුන් පළ කෙරෙන නිසා මිනිසුන්ට ඒවා නිතර දක්නට ලැබේ. එහෙත් ඔබට එම පානය අන්තර්ජාලය හරහා මෘදුකාංගයක් ලෙස බාගත කිරීමෙන් රසවිඳිය හැකි නම් ඔබ එයින් කොතරම් තෘප්තිමත් වේවිද”

පසුගිය මස ජපානයේ පැවතී මුර්තිමත්, එබ්බවූ සහ ස්පර්ශනීය අන්‍යොන්‍ය ක්‍රියා සම්බන්ධ සම්මන්ත්‍රණයේදී (Conference on Tangible, Embedded and Embodied interaction) මෙම පර්යේෂණයේ ප්‍රතිපල පර්යේෂක කණ්ඩායම ඉදිරිපත් කළේය. විදුරු ගැටිය (දාරය) වටා ගමන් කරන ඉලෙක්ට්‍රොඩයක් සහිත ජලය පිරවූ ඩිජිටල් වීදුරුවක් මේ සදහා භාවිතා කළ අයුරු ඔව්හු මෙහිදී ප්‍රදර්ශනය කළෝය. බිම වීදුරුවේ ගැටිය දිව ගෑ ක්ෂණයෙන් එහි ඇති ඉලෙක්ට්‍රොඩයෙන් දිවට ලබාදෙන විදුලි ස්පන්ධනය නිසා රස නහර උත්තේජනය වී ව්‍යාජ ලෙස ඇඹුල් රසයක් ඇති කරයි.

ලෙමනේඩ්වල පැහැය ලබා ගැනීම සදහා RGB වර්ණ සංවේදනයන් උපයෝගී කරගෙන LED බල්බ දල්වා ව්‍යාජ ලෙමනේඩ්, සත්‍ය ලේමනේඩ්වල තිබෙන වර්ණ 3 කින් ආලෝක ගන්වා තිබේ. කහ, කොළ සහ වලාකුළු සුදු එම වර්ණ වේ. පර්යේෂණයේ සාර්ථකත්වය අත්හදා බැලීම සදහා කළ එක් ක්‍රියාකාරකමකදී ස්වේච්චාවෙන් ඉදිරිපත්වූ අයට මෙම ව්‍යාජ ලෙමනේඩ් සහ සත්‍ය ලෙමනේඩ් පානය කිරීමට ඉඩ සලස්වන ලදී. ඔවුන්ගේ ප්‍රතිචාරවලින් සත්‍ය ලෙමනේඩ් වලට වඩා ව්‍යාජ ලෙමනේඩ් ඇඹුල් රස වැඩි බව හදුනාගෙන තිබේ.එනිසා පර්යේෂණය තවදුරටත් සංවර්ධනය කරන අතර නිමේෂා ඇතුළු පර්යේෂකයින් ලොලිපොප් රසයද අන්තර්ජාලය හරහා විදුලි ලොලිපොප්  ලෙස ලබාදීම සදහා සුවඳ වැනි අනෙක් සංවේදිතා දියුණු කිරිමේ පර්යේෂණවල නියෙලෙන බව වාර්තා වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස් කළේ
හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment