April 3, 2017

මිනිස් මනසෙන් පාලනය වූ කැස්බෑවා

පලායාම හෝ බාධක මගහැරයෑම කෙරෙහි කැස්බෑවා සතු ස්වභාවික සහ ක්ෂණික ප්‍රතිචාරය පදනම් කරගෙන සජීවී කැස්බාවෙක් මිනිස් මොලයෙන් සෘජුව මෙහෙයවීමට කොරියානු පර්යේෂක කණ්ඩායමක් සමත් වී තිබේ. සෝදිසි සහ මුදවාගැනීම් මෙහෙයුම් තාක්ෂණයේ අනාගත වර්ධනය සදහා මෙම පර්යේෂණ ප්‍රයෝජනවත් වනු  ඇතැයි පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

Bionic Engineering (යාන්ත්‍රික ශරීරාංග ඉංජිනේරු විද්‍යාව) සගරාව වාර්තා කර ඇත්තේ මෙම පර්යේෂණාත්මක ක්‍රියාවලිය මොලයෙන් පරිගණකයට සඥා ගමන් කරන අතුරු මුහුණතක් මගින් මොලයෙන් නිකුත්වන තරංග කියවීමෙන් රොබෝ පාලනය කිරීමක් ලෙසය. මෙමගින් පරිගණකයෙන් මොලයට සඥා ගමන් කරන අතුරු මුහුණතක් නිර්මාණයද අපේක්ෂා කළ හැකිය.

මිනිසා සහ කැස්බෑවා සජීවීව සම්බන්ධ කිරීම සදහා කුඩා කැමරාවක් කැස්බෑවාගේ හිස මත සවි කර තිබේ. කැමරාවෙන් දර්ශනය වන වටපිටාව අනුව මිනිසාගේ සිතුවිලි මගින් කැස්බෑවා වමට හෝ දකුණට හෝ යෑම මෙන්ම නිසලව සිටිමටද නියෝග නිකුත් වේ. මෙම සිතුවිලි පරිගණකය විසින් කියවා තොරතුරු සංඥා Wi-Fi තාක්ෂණය ඔස්සේ කැස්බෑවාගේ ආවරණ කබල මත සවිකර ඇති ග්‍රාහකයට සම්ප්‍රේෂණය කරනු ලැබේ.

මෙම උපකරණ කට්ටලයේ තවත් කොටසක් වූ කැස්බෑවාගේ කබල (කටුව) මත සවිකර ඇති අර්ධ වෘතාකාර වැස්ම ඉහත ග්‍රාහකයා ලබගන්නා තොරතුරු සංඥා මගින් පාලනය වේ. එනම් වම් හෝ දකුණු දෙසට අර්ධ වෘතාකාර වැස්ම චලනය වේ. උදාහරණයක් ලෙස මිනිස් මොලයෙන් වමට ගමන් කලයුතු යයි විදානය කළ විට අර්ධ වෘතාකාර වැස්ම දකුණට චලනයවී කැස්බෑවට දකුණට යාමේ බාධාවක් ක්ෂනිකව මතු කරයි. බාධක සදහා කැස්බෑවාගේ ප්‍රතිචාර දැක්වීම අනුව කැස්බෑවා වමට ගමන් කරයි. බාධක සහිත මාර්ගයක කැස්බෑවාගේ චලනය සිතුවිලි වලින් මෙලෙස පාලනය කිරීමට පර්යේෂකයෝ සමත් වූහ. ප්‍රථම පර්යේෂණය ගෘහයක් තුලද ඉන්පසු පර්යේෂණ දෙකක් විවෘත එළිමහනේ සාර්ථකව සිදු කරන ලදී.

පලායාම හෝ බාධක මගහැරයෑම කෙරෙහි කැස්බෑවා සතු ස්වභාවික සහ ක්ෂණික ප්‍රතිචාර ස්වභාවය පමණක් නොව සාපේක්ෂව ඉහළ ඥානාත්මක හැකියාව සහ ආලෝක තරංග ආයාමයන් අතර ඇති වෙනස සුවිශේෂිව හදුනාගැනීමට හැකිවීමද කැස්බෑවා මෙම පර්යේෂණ සදහා තෝරා ගැනීමට හේතු වී තිබේ.

කෙසේවෙතත් හිසකෙස් තරම් සියුම් ඉලෙක්ට්‍රොඩ සතුන්ගේ හිසෙහි සවිකර කැරපොත්තන් වැනි කෘමීන්ගේ චලනයන් දුරස්ථව පාලනය කිරීමට පර්යේෂකයින් සමත්වී තිබේ.පරවියන් පියාඹන දිශාවද මෙසේ පාලනය කර ඇතියිද වාර්තා වේ. ඉදිරි පර්යේෂණ සදහා වඩා ආචාරශිලිව සතුන් තෝරා ගැනීමට පර්යේෂකයින් බලාපොරොත්තුවන අතර මෙහි සාර්ථකත්වය මත වෘද්ධිය යතාර්ථය (augmented reality) වර්ධනය කිරීම මෙන්ම සෝදිසි සහ මුදවාගැනීම් මෙහෙයුම් තාක්ෂණයේ දියුණුවද අපේක්ෂා කරනු ලැබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ:
හර්ෂ ලංකේශ්වර

  https://www.youtube.com/watch?v=xniuCjQCrS0

0 comments:

Post a Comment