March 7, 2014

මහළු අය රකින සංවේදක

බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හදිසියේ බිම ඇදවැටීමෙන් අබල දුබල වීම් සහ නොයෙක් රෝග වලට භාජනය වන බව රෝහල් වාර්තා පෙන්වා දෙයි. තනිකඩව ජීවත් වන මහළු අය පමණක් නොව තම දූ දරුවන් සමඟ ජීවත්වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ද මෙලෙස හදිසි ඇදවැටීම් වලට  ගොදුරුවේ. ඔවුන් බිම වැටුණු විට ඒ පිළිබඳව සැළකිලිමත් වීමට කිසිවෙකු හෝ නොසිටින අවස්ථා බහුලව දක්නට ලැබේ. ඇත්ත වශයෙන්ම ඔවුන් සහ ඔවුන්ගේ ක්‍රියා පිළිබඳව  දවසේ පැය 24 පුරාම සහ සෑම දිනකම අවධානයෙන් සිටීම ප්‍රායෝගිකව පහසු කාර්යයක් නොවේ.මේ සඳහා විකල්පයක් ලෙස මහළු අය රකින සංවේදක තාක්ෂණය ඉදිරිපත් වී තිබේ.
සමහර අවස්ථාවලදී බිම වැටුණු වැඩිහිටියා පැය ගණනක් වුව සිදුවුයේ කුමක්දැයි නොදැන එලෙසම වැතිර සිටීමද සිදුවී තිබේ. දැනට භාවිතා වන ලයිෆ් - අලට් (Life – Alert) උපකරණය මෙවැනි අවස්ථා වලදී උපකාරි වුවද ඒ සඳහා එම උපකරණය පැළඳ සිටීම අනිවාර්ය වේ. ඒ නිසා Safe @ Home පද්ධතිය නම් නව තාක්ෂණය ජර්මනියේ සමාගම් කිහිපයක් විසින් සංවර්ධනය කර තිබේ.
මෙහිදී සැම කාමරයකම  සිවිලිමේ සංවේදකයක් සවි කරනු ලැබේ. නිවස තුල ඇවිදින ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ චලනයන් සංවේදක විසින් ස්වයංක්‍රීයව නිරික්ෂණය කරයි. බිම ඇදවැටීමක් හෝ උපකාර ඉල්ලා කෑගැසීමක් ඇතිවු විට එය හඳුනාගෙන ඒ බව නිවසේ ප්‍රධාන අනතුරු අඟවනය වෙත රැහැන් විරහිතව දන්වා සිටියි. මේ සඳහා සංවේදක මුලින් ම බිම වැටුණු වැඩිහිටියා නිශ්චලව සිටින කාලය, අදාල නිශ්චිත කාලය සමඟ නියාමනය කර අනතුරුදායක බව නිවැරදිව හඳුනාගනී. තොරතුරු ලද අනතුරු අඟවනය ප්‍රථමයෙන් අනතුරට භාජනය වු වැඩිහිටියාට දුරකථන ඇමතුමක් ලබා දේ. එමඟින් ඔහුට /ඇයට නැවත යථාතත්වයට පත් වීමට අවස්ථාව සලසා දෙයි. පිළිතුරක් හෝ ප්‍රතිචාරයක් නොලැබුණහොත් අනතුරු අඟවනය හදිසි අවස්ථා ඒකක සහ පවුලේ සාමාජිකයින්ට දුරකථනය මඟින් අනතුරුදායක බව දන්වා සිටී.
වැඩිහිටියාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා ලබාගත් සියළු දත්ත පද්ධතියේ ආරක්ෂිතව තැන්පත් කරයි.  Safe @ Home පද්ධතිය නඩත්තු කිරීම අවශ්‍ය නොවේ. බැටරි මාරු කිරිමද අනවශ්‍යය. ස්ථාපිත කිරීම සඳහා නිවසේ කිසිදු ආකෘතීමය වෙනස්කමක් සිදුකිරීම අවශ්‍ය නොවේ. 2012 වසරේ සිට නිවාස කිහිපයකම අත්හදා බැලීම් ලෙස ක්‍රියාත්මක කෙරෙන අතර වෙළෙඳපොළ සඳහා මේ වසරේදී ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වේ.

උපුටා ගැනීම :-  Sensor system designed to help seniors who have fallen & can’t get up  by  Ben Coxworth  - http://www.gizmag.com/safe-at-home-senior-fall-alert/30817/

0 comments:

Post a Comment