February 20, 2017

සෑම වර්ගයකම ක්ෂය රෝග නිවාරණයට නව ඖෂධ

ක්ෂය රෝගය ලොව ප්‍රධාන මරණිය බෝවෙන රෝගයකි. නව ඖෂධ ප්‍රතිකාර දෙකක් මගින් සෑම වර්ගයකටම අයත් ක්ෂය රෝග සුව කිරීමට හැකි වූ බව වාර්තා වේ. සුව කිරීමට වඩාත් අපහසු ක්ෂය රෝග තත්වයන් පවා මැඩ පැවැත්වීමට මෙම ප්‍රතිකාර යුගලය සමත්වී ඇත.

“සෑම එක් ක්ෂය රෝගියකුටම අවශ්‍ය ප්‍රතිකාර නිර්මාණය කිරීමට අපි සමත් වූවෙමු.”  යැයි TB Alliance (ක්ෂය රෝග පෙරමුණ) හි සභාපති Mel Spigelman පවසයි. අප දැන් ක්ෂය රෝගය ආපසු හැරවීමේ සීමාව ආසන්නයේ සිටින බවද මෙම ප්‍රතිකාර වර්ග දෙකෙහි නිරීක්ෂණ සම්බන්ධීකරණහි යෙදී සිටින TB Alliance තවදුරටත් සදහන් කරයි.

දැනට ඇති ප්‍රතිකාර මගින් සාමාන්‍ය ක්ෂය රෝගය සුව කිරීමට මාස 06 ක කාලයක්ද ඖෂධ සදහා ප්‍රතිරෝධතා දක්වන රෝගීන්ගේ ක්ෂය රෝගය සුව කිරීමට අවුරුදු 02 ක කාලයක්ද ඖෂධ ලබා ගැනීම අවශ්‍ය වේ. බෝවෙන රෝගයක් බැවින් මෙම දීර්ඝ කාලය වඩාත් ගැටළුකාරීය. එහෙත් BPaMZ සහ BPaL නම් නව ප්‍රතිකාර වර්ග දෙක විවිධ ක්ෂය රෝගයන් සදහා වඩාත් ඵලදායිව සහ සරලව භාවිතා කළ හැකිය.

BPaMZ ප්‍රත්කාර ක්‍රමය අනුව ඖෂධ වර්ග 4 ක් දිනපතා ලබා ගත යුතු වේ.අප්‍රිකාවේ රටවල් 10 ක විසිර සිටින පරීක්ෂණයට සම්බන්ධ වූ රෝගීන් 240 කින් සාමාන්‍ය ක්ෂය රෝගය තිබු රෝගීහු සියලු දෙනාම මාස 4 කට පසුව සුවය  ලැබුහ. ඖෂධ සදහා ප්‍රතිරෝධතා දක්වන ක්ෂය රෝගීන් සුවය ලැබීමට මාස 06 ක කාලයක් ගත විය.
සියලු රෝගීන්ගෙන් වැඩි බහුතරයකගේ ඛේට වල ක්ෂය රෝග බැක්ටීරියා මාස දෙකකින් අතුරුදහන් වූ බවද වාර්තා වේ. මින් පෙර කිසිදු ප්‍රතිකාරයකින් මෙවැනි වේගවත් සුව වීමක් වාර්තා නොවූ බව TB Alliance පවසයි.

මිට අමතරව දෙවන ප්‍රතිකාර ක්‍රමය වන් BPaL අනුව ඖෂධ වර්ග 03 ක් දිනපතා ලබා ගත යුතු වේ. ප්‍රතිකාර සදහා අතිශය ලෙස දරුණු ප්‍රතිරෝධයක් දක්වන ක්ෂය රෝගීන් 69 ක් මෙම ප්‍රතිකාරයට භාජනය කළ අතර ඉන් 40 ක් මාස 06 ක කාලයකින් සුව වී තිබේ. ඉතිරි රෝගීන් 29 ගැන තවදුරටත් නිරීක්ෂණය කරනු ලැබේ.
දැනට භාවිතා වන ක්ෂය රෝග ප්‍රතිකාර ක්‍රම වසර 50 කට වඩා පැරණි සහ වඩා කල් ගත වන බැවින් නව ප්‍රතිකාර ක්‍රම ඉතාමත් ඵලදායි වේ. ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා අනුව 2015දි  නව ක්ෂය රෝගීන් මිලියන 10.4 ක් වාර්තා වී ඇති අතර එයින් ප්‍රතිකාර ප්‍රතිරෝධී ක්ෂය රෝගීන්ගෙන් 20% කට පමණක් ප්‍රතිකාර කිරීමට හැකිවී තිබේ. ඔවුන්ගෙන්ද සුවය ලැබී ඇත්තේ අඩකට පමණි.

කෙසේවෙතත් නව ප්‍රතිකාරය භාවිතයට පෙර අවශ්‍ය බොහෝ නිරීක්ෂණ තත්වයන් සහ වෙනත් පරිපාලනමය කටයුතු නිසා BPaMZ සහ BPaL ප්‍රතිකාර ක්‍රම ක්‍රියාත්මක වීමට තව ටික කාලයක්  ගතවනු ඇතැයිද වාර්තා වේ.


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙණි.

සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්‍යා හා තාක්ෂණ නිලධාරි

0 comments:

Post a Comment