May 15, 2019

රාත්‍රී අහසෙන් විදුලිබලය


සූර්යයා නොමැති වූ විට පෘථිවිය සෙමෙන් සිසිල් වේ. වළාකුළෙන් බරවී අහස ආවරණය නොවුණු පැහැදිලි  රාත්‍රී කාලයේ දී අප පෘථිවි ග්‍රහයාගේ තාපය, අවකාශයේ අන්ධකාරය තුලට පැතිරි යාම මගින් මෙම ක්‍රියාවලියේ සත්‍යතාව අවබෝධ කර ගත හැක. ස්ටැන්ෆෝඩ් සරසවියේ පර්යේෂකයන් මේ තාප ප්‍රවාහය භාවිතා කර විදුලි බලය නිපදවීමට සමත් උපකරණයක් නිර්මාණය කර ඇත.

අන්තර්ජාතික විද්‍යාඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක්  විසින් විශ්වයේ සිසිල්භාවය සෘජුව උපයෝගී කර ගෙන ඩයෝඩයක් තුල මැනිය හැකි විදුලි බලයක් උත්පාදනය කළ හැකි බව පළමු වතාවට ප්‍රදර්ශනය කර තිබේ. එහිදී විදුලිය නිපදවීම සදහා අහස දෙසට යොමු කළ අධෝරක්ත අර්ධ සන්නායක උපාංග සහ පෘථිවියේ හා අවකාශය අතර උෂ්ණත්ව වෙනස භාවිතා කර තිබේ.

සූර්ය කෝෂවල ඇති පැහැදිලි විශේෂතාවයක් වන්නේ විදුලිය නිපදවීමට සූර්යාලෝකය අවශ්‍ය වීමයි. එහෙත් දැන්, සූර්යාලෝකය භාවිතා කිරීමෙන් සුර්ය බලශක්තිය නිපදවීමට යොදාගත් භෞතික විද්‍යාව යොදාගනිමින් ශීත උෂ්ණත්වයක් සහිත අවකාශය දෙසට යොමු කරන ලද උපකරණයක් උපයෝගී කර ගෙන බලශක්තිය නිපදවිය හැකි වී තිබේ. නිව් යෝර්ක් හි AIP මගින් ප්‍රකාශයට පත් කරන ලද ව්‍යවහාරික භෞතික විද්‍යා (Applied Physics) ලිපි වලින් සූර්ය කෝෂ ලෙස රාත්‍රී කාලයේදී වුව විදුලිය නිපදවීමේ විභව මාර්ගයක් පිලිබඳ තොරතුරු වාර්තා කර ඇත.

"විශ්වයේ ඇති විශාලත්වය තාප ගතික සම්පතකි. Optoelectronic (ඔප්ටෝ ඉලෙක්ට්‍රොනික) භෞතික විද්‍යාව අනුව, පැමිණෙන විකිරණ වලින් ලබා ගත හැකි බල ශක්තිය හා පිටවෙන විකිරණ වලින් ලබාගත හැකි බලශක්තිය අතර ඉතාම ලස්සන සමමිතියක් තිබේ." යනුවෙන් එම ලිපි නිර්මාණ කළ Shanhui Fan (සැන්හෙයිහි ෆැන්) ප්‍රකාශ කර ඇත.

 සූර්යයාගේ සිට එන විකිරණ භාවිතා කිරීම වෙනුවට, පෘථිවියේ සිට පිටතට යන විකිරණ භාවිතා කිරීම නිසා  පර්යේෂණාත්මක නව උපකරණය ප්‍රතිවිරෝධී සූර්ය පැනලයක් මෙන් දිස්වේ. කෙසේ වෙතත්, ව්‍යවහාරික භෞතික විද්‍යාව පිළිබඳ ලිපිවල වාර්තා කර ඇති ආකාරයට, නව පද්ධතිය ප්‍රතිවිරුද්ධ ආලෝක කිරණ (ප්‍රදීපන) බලපෑම භාවිතා කරයි. උපකරණයේ මතුපිටින් තාපය ගලා යන විට අධෝරක්ත අර්ධ සන්නායක විසින් විදුලිය ජනනය කරයි.

“පෘථිවිය හා අභ්‍යවකාශය අතර විශාල උෂ්ණත්ව වෙනසක් පවතී. අපේ ග්‍රහලෝකය වූ පෘථිවියේ ශීතලම ස්ථානයේ පවා අවම වශයෙන් 200 ° C (360 ° F) උෂ්ණත්ව වෙනසක් ඇත. නව උපාංගයේ සීමාවන් වී ඇත්තේ එහි තාක්ෂණය මිස පාරිසරික තත්වයන් නොවේ. වර්තමාන උපකරණය උත්පාදනය කරන්නේ කුඩා ධාරාවක් වූ වර්ග මීටරයකට නැනෝවොට් 64 ක් පමණයි. මෙම පරීක්ෂණයෙන් අපට නිපදවිය හැකි බලය, න්‍යායාත්මක සීමාවට වඩා බෙහෙවින් අඩුයි. න්‍යායාත්මක අගය වර්ග මීටරයකට වොට් 4 ක් එනම් වර්තමාන නිෂ්පාදනයට වඩා ආසන්න වශයෙන් මිලියනයකට වඩා වැඩියි. එනිසා රාත්‍රී කාලයේදී අවශ්‍ය බලශක්තිය නිපදවීම සදහා නව සොයාගැනීම ඉතා වැදගත් වන අතර එය ඉක්මණින් වැඩිදියුණු කළ යුතුය.”  ප්‍රධාන කතුවරයෙකු වන Masashi Ono (මැෂාෂි ඔනෝ) පැහැදිලි කළේය.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment