May 10, 2019

ශල්‍යකර්ම සඳහා හදවත තුල ස්වයංක්‍රියව ගමන් කරන රොබෝටික කැතීටර


ස්නායු, රුධිරය, සෛල, මාංශපේෂීන් වැනි ජීව අංග වලට හානියක් නොකර ස්පන්ධනය වන හදවතක්  තුල ස්වයංක්‍රියව චලනය වී ශල්‍යකර්මය සිදුකළ යුතු ස්ථානය වෙත ළඟා වීමට සමත් රොබෝටික ශල්‍යකර්ම උපකරණයක් (Robotic tube ) පිලිබඳ තොරතුරු වාර්තා වේ. දර්ශනය සඳහා වූ කුඩා කැමරාවක් පමණක් භාවිතා කරමින් මෙම Robotic tube, ඌරන්ගේ හෘදයන්හි ශල්‍යකර්මය සිදුකළ යුතු නිවැරදි ස්ථානවලට ආබාධයකින් තොරව ගමන් කර වෛද්‍යවරුන්ට ශල්‍යකර්ම  සාර්ථකව සම්පුර්ණ කිරීමට සහය වී තිබේ.

ශරීරය තුළ ස්වාධීනව ගමන් කිරීමට හැකියාව ඇති රොබෝ කැතීටරය පිළිබඳ ප්‍රථම ප්‍රදර්ශනය බොස්ටන් ළමා රෝහලේ ජෛවඉන්ජිනේරුවන් විසින් ඉදිරිපත් කර තිබේ. සත්ව හෘදවස්තු කපාටයක් (cardiac valve /කන්තුක කපාටය) නිරෝගී කිරීමේ ශල්‍යකර්මයකට භාජනය කිරීම සදහා ජෛවඉන්ජිනේරු කණ්ඩායම විසින් ස්පන්ධනය වන, රුධිරය පිරුණු හෘද වස්තුවක් තුලින් රෝගී කන්තුක කපාටය සොයා ගෙන යාමට සමත් රොබෝමය කැතීටරයක් ක්‍රමලේඛනය/ සංවර්ධනය  කළ බව “Science Robotics” සඟරාව වෙත වාර්තාකර ඇත.

කෘමීන්ගේ ස්පර්ශේන්ද්‍රිය හෝ කෘමීන්ගේ රැවුල් ඔවුන්ගේ වටපිටාව සාම්ප්‍රදායිකව, අඳුරු පරිසරවලදී හඳුනාගැනීමට භාවිතා කරන පරිදි  “wall following,” නම් ජලතරණ (navigational) තාක්ෂණයක් මගින් ප්‍රකාශ ස්පර්ශක සංවේදක රොබෝමය කැතීටරය විසින් නිශ්චිත කාල පරාසයක් තුළ අවට පරිසරය හඳුනාගැනීමට සමත් වේ. ඉදිරි මුහුණත අග්‍රයෙහි සවිකරන ලද සංවේදී කැමරාවක් මගින්, කැතීටරය ස්පර්ශ කරනුයේ  රුධිරයද, හෘද බිත්තියද, කපාටද යන්න පමණක් නොව එය කොතරම් දැඩිව ස්පර්ශ කරනවාද යයි දැනුම් දෙනු ලැබේ.

බොස්ටන් හි හාර්වර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ Pierre Dupont (පියරේ ඩුපොන්ට්) සහ ඔහුගේ කණ්ඩායම විසින් ශල්‍යකර්ම වලදී  උපකරණ හෝ ඖෂධ ලබා දීම සඳහා රොබෝමය කැතීටරය නිර්මාණය කර තිබේ. එහි මුහුණත අග්‍රයට කැමරාවක් සහ LED ආලෝකයක් සවි කර ඇති අතර චලනය පාලනය කිරීමට ක්‍රමලේඛනය / ඇල්ගොරිතමය ක් සංවර්ධනය කර ඇත.  මෙම කණ්ඩායම විසින් කැතීටරයේ චලනය පාලනය කරන ඇල්ගොරිතම පුහුණුව සඳහා හෘද අභ්‍යන්තරයේ රූප 2000 භාවිතා කර තිබේ.

ඔවුහු මෙම රොබෝමය කැතීටරය භාවිතා කර හෘදයාබාධ සහිත ඌරන් පස් දෙනෙකු සදහා ශල්‍යකර්ම සාර්ථකව සිදු කර මෙම උපකරණය පරීක්ෂා කළහ. සෑම එක් ශල්‍යකර්මයකදිම, එක් එක් කැතීටරයේ ගවේෂණ කුසලතා පරීක්ෂා කර බැලූ අතර, එක් එක් සත්වයාගේ හෘදයාබාධවලට හේතුවූ  හෘදයේ කාන්දු වන ස්ථාන සහ වර්ග කිහිපයක් තිබිණි. පර්යේෂණ තත්ත්ව 83 තුලදී කැතීටර් 95% ක් නිවැරිදිව ගමන් කර ඇත.
එය සාර්ථක අත්දැකීමක් මෙන්ම වෛද්‍යවරයෙකුගේ ක්‍රියාවට සමාන බව ඩූපොන්ට් පවසයි. හදවතෙහි රෝගී හෝ කාන්දුව සිදුවන ස්ථානය කරා ළඟාවීමේ ඉතා දුෂ්කර කාර්යයෙන් වෛද්‍යවරුන්ට තම මානසික බර මෙමගින් අඩු කර ගත හැකි වන නිසා  හෘදයේ සිදුරු පවිත්‍ර කිරීම කෙරෙහි ඔවුන්ගේ මුළු අවධානය යොමු කළ හැකි වේ.

වර්තමානයේ, හදවතෙහි රෝගී හෝ කාන්දු සුවපත් කිරීම සදහා වෛද්‍යවරුන් විසින් අතිධ්වනි තරංග (ultrasound /අල්ට්රා සවුන්ඩ්)  සහ තම දෑත්වල් දක්ෂතාවයේ  මඟපෙන්වීම් මගින් කැතීටරයේ චලනය පාලනය කරන බවත් ඒ සඳහා සුවිශේෂි නිපුණතා හා අත්දැකීම් සහිත වෛද්‍යවරුන් අවශ්‍ය බවත්  උතුරු කැරොලිනාවේ ඩියුක් විශ්වවිද්‍යාලයේ Manesh Patel (මනීෂ් පටෙල්) පැවසු බවද වාර්තාවේ සඳහන් වේ.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/T9aP7Fl5-0s?t=3

0 comments:

Post a Comment