November 21, 2018

ජෛව පරිණාමය 2



ඉංශ්‍රීසි ජාතික රොබට් චාල්ස් ඩාවින්
(Robert Charles Darvin1809-1882) ස්වාභාවික වරණ වාදය (Theory of Natural Selection) ඉදිරිපත් කල අතර එය ඔහු විසින් ප්‍රකාශයට පත් කල “The Origin of Species by means of Natural Selection” නම් කෘතියේ සඳහන්ව ඇත. ඩාවින් වාදය ගොඩ නැගී ඇත්තේ සත්ව ගහනවල කරනු ලැබු නිරීක්ෂණ 02 හා ඒ ඇසුරෙන් ගොඩනගන ලද උපකල්පන 03 පදනම් කරගෙනය.
ඩාවින් වාදයට පදනම් වූ නිරීක්ෂණ වුයේ අධිජනනය හා ප්‍රභේදනයයි.
සතුන් ජීවිත කාලය පුරාවට ප්‍රජනනය මගින් ජනිතයන් ඉතා අධික සංඛ්‍යාවක් නිපදවති. මෙසේ නිපදවනු ලබන සංඛ්‍යාව නොනැසී පවතින සංඛ්‍යාවට වඩා විශාලය. ජනිතයන් ප්‍රජනනය කරන අවධිය තෙක් ජීවත් වී ප්‍රජනනය කළ හොත් ඇති වන ජනිතයන් සංඛ්‍යාව අති මහත් වීම අධිජනනය ලෙස හැඳින්වේ.
ගහනයකට අයත් සතුන් සියල්ලම එක සමාන නොවන අතර ස්වරූපය, ක්‍රියාකාරීත්වය සහ චර්යාව ආදියේ ඇති එකම විශේෂයේ සතුන් අතර වෙනස් කම්  ප්‍රෙභේදන ලෙස හැඳින්වේ.


අලින් වසර 100 පමණ ජීවත් වන අතර ඇතින්නක් තම ජීවිත කාලය තුලදී පැටවුන් 6 පමණ බිහිකරයි. මේ අනුව වසර 750 ක කාලයකදී ජීවත් වන අලි සංඛ්‍යාව 19 000 000 පමණ වන බව ඩාවින් ගණනය කලේය.
කෙසේ වෙතත් ගහනයක සිටින ජීවීන්  සංඛ්‍යාව උක්ත අලි ගහනයේ ගණනය කිරීමේ ආකාරයට කාලයත් සමග අධික ලෙස වැඩි නොවේ. ඊට හේතුව තරඟය, අහිතකර පාරිසරික තත්ත්ව ආදී විවිධ සාධක ගහනයක නිසා ජීවීන් සංඛ්‍යාව අසීමිත ලෙස වැඩි වීම පාලනය වීමයි.
උස,මහත,වර්ණය, ගතිගුණ ආදී  ලක්ෂණ අතින් එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර ඇති වෙනස් කම් මගින් ප්‍රභේදන නිසා එකිනෙකා සර්වසම නොවේ.
ප්‍රභේදන වර්ග කිහිපයකි. එම් සන්තත ප්‍රභේදන, අසන්තත ප්‍රභේදන, ආවේණික ප්‍රභේදන, ආවේණික නොවන ප්‍රභේදන ලෙස චාල්ස් ඩාවින් විසින් විස්තර කර දී ඇත.
 සන්තත ප්‍රභේදන යනු යම් ගහනයක සාමාජිකයන් සැලකිල්ලට ගත් විට ඔවුන් අතර ක්‍රම ක්‍රමයෙන් වෙනස් වන ලක්ෂණයි. උදාහරණ ලෙස මිනිසාගේ සමේ වර්ණය,උස, බුද්ධිය ආදී ලක්ෂණ
අසන්තත ප්‍රභේදන යනු යම් ගහනයක සාමාජකයන් අතර පවතින පැහැදිලි ලෙස එකිනෙකින් කැපී පෙනෙන ලක්ෂණයි.


 උදාහරණ ලෙස ඇසේ වර්ණය, හිමොෆීලියාව,ඇලි බව,වර්ණාන්ධතාව, දිව රෝල් කිරීමේ හැකියාව ආදී ලක්ෂණ
ආවේණික ප්‍රභේදන යනු ඊලඟ පරම්පරාවට උරුම විය හැකි ලක්ෂණයි. උදාහරණ ලෙස සමේ වර්ණය, වර්ණාන්ධතාව ආදී ලක්ෂණ
ආවේණික නොවන ප්‍රභේදන යනු ඊලඟ පරම්පරාවට උරුම නොවන ලක්ෂණයි. උදාහරණ ලෙස හිරු එලියේ බලපෑම නිසා සම තාවකාලික තද පැහැයක් ගැනීම ආදී ලක්ෂණ
නමුත් ඩාවින්ගේ පරිණාම වාදයට අනුව පරිණාමික ක්‍රියාවලියට හේතු සාධක වනුයේ ආ‍වේණික ප්‍රභේදන පමණි.
ඩාවින් වාදයට පදනම් වූ උපකල්පන වුයේ ජීවන සටන හා උචිතෝන්නතිය හා ස්වභාවික වරණයයි.
අප ජීවත් වන පෘථිවියේ ආහාර,වාසස්ථාන,ජලය ආදී ස්වභාවික සම්පත් සීමිත වලට උපයෝගයෙන් තම ජීවිතය පවත්වාගෙන යාමට ජීවීන් අතර ඇති නිරනිතර තරඟය ජීවන සටන ලෙස හැඳින්වෙන අතර එහිදී විවිධ විශේෂ වල සාමාජිකයන් අතර ඇති වන තරඟය අන්තර් විශේෂ තරඟය ලෙසත් එකම විශේෂයේ සාමාජිකයන් අතර ඇති වන තරඟය අන්තඃ
ජීවන සටනට මුහුණ දීමේදී වාසිදායක ප්‍රභේදන දරන සතුන්ට පරිසර සම්පත් ලබා ගෙන පරිසරය තුළ නොනැසී ජීවත් වීමට වැඩි හැකියාවක් ඇති අතර ගහනයේ පැවැත්ම සඳහා උචිත සතුන් ලෙස ඔවුහු පරිසරය තුල ඉතිරි වීමේ ක්‍රියාවලිය උචිතෝන්නතිය නම් වේ.
උචිතෝන්නතියෙන් ඉතිරි වන ජීවීහු වාසිදායක එනම් පරිසරය තුළ ජීවත් වීමට උචිත වන ප්‍රභේදන ප්‍රජනනයෙන් ජනිතයන්ට සම්ප්‍රේශණය කරයි.  ජීවත් වීමට උචිත නොවන ප්‍රභේදන දරණ ජීවීහු බොහෝ විට ප්‍රජනන කාලයට පෙර මිය යයි.
උචිතෝන්නතිය නිසා ඉතිරි වන ජීවින් ප්‍රජනනයෙන් නව වාසිදායක ප්‍රභේදන දරන ජීවීන් බිහි කිරීම නිසා අවාසිදායක ලක්ෂණ දරණ ජීවීන් ගහනයෙන් කාලයත් සමග ඉවත්වේ. උචිත ප්‍රභේදන දරන සත්තු ස්වාභාවික ලෙස තේරීමකට ලක් වී ගහනයෙහි ඉතිරි වීම ස්වාභාවික වරණය ලෙස චාල්ස් ඩාවින් නම් කලේය.මේ අනුව එක් විශේෂයක ජීවීන්ගේ පරම්පරා ගණනාවකට පසු ඇති වන ජීවීන් පලමු ජීවීන්ට වඩා බොහෝ වෙනස් වීමට හැක. 


මේ අනුව එක් විශේෂයකින් අළුත් විශේෂයක් ඇති විය හැක. මෙලෙස මුලින් ඉතා සරළ ජීවීන් ඇති වී අවුරුදු මිලියන ගණනාවකට පසු සංකීර්ණ ජීවීන් ඇති විය මෙය ජෛව පරිණාමයයි.

තුෂංග හේරත්, 
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
හාලිඇල




1 comments:

Post a Comment