November 21, 2018

ජෛව පරිණාමය හෙවත් ජීවය ඇති වු අයුරු 1




විවිධ ආගමික මිත්‍යා විශ්වාසයන්ට ගොදුරුව සිටින අවිද්‍යාත්මක මිනිසාට තම පරිණාමණය හා නොපෙනෙන දෙවියන් පිලිබඳ සත්‍ය අවබෝධය පිණිස මෙම ලිපි පෙළ මෙසේ ලියා දක්වන වගයි.
ජීවීන් වසන අප දැනට දන්නා ග්‍රහලොව වන අප වාසය කරන පෘථිවියේ සත්ත්ව කොට්ඨාශ අතර විවිධ වෙනස් කම් පවතී. එම  විවිධත්වය සෛලීය ලෙස ගත්කල ඒකසෛලික සිට බහු සෛලික දක්වා වර්ග කල හැකිය. ඒකසෛලික ජීවීන් ලෙස ඇමීබාවන්, පැරමීසියම්, බැක්ටීරියා, දීලීර, වයිරස සිට ගෙම්බන්, තල්මසුන් ආදීන් බහුසෛලික ජීවීන් ලෙස හඳුනාගත හැක. සජීවී ශාක අතරද මෙලෙස විවිධත්වයක් දැකිය හැකිය. මෙම විවිධත්වයට හේතු වනුයේ ජෛව පරිණාමික ක්‍රියාවලියයි.










ජෛව පරිණාමය යනු එක් ජීවී කාණ්ඩයක් කාලයත් සමඟ ක්‍රම ක්‍රමයෙන් වෙනස් වෙමින් වෙනත් ජීවී කාණ්ඩයක් බවට පත් වීමයි.
ජෛව පරිණාමිය ක්‍රියාවලිය 1930 දශකයේ ලංකාවේ මැලේරියා පැතිරීමට හේතු කාරක වන ඇනොපිලස් (Anopheles) මදුරුවන් DDT වලට දැක්වු ප්‍රතිරෝධයෙන් හා එංගලන්තයේ කාර්මීකරණය නිසා වු (Biston betularia) සලබ ගහනයේ වු පරිණාමික වෙනස් කම් මගින් මනාව තහවුරුවේ. 





මෙම උදාහරණ දෙකෙහිම ගහනය තුළ වු උචිත නොවු ලිංගික ව ප්‍රජනනය කරන සාමාජිකයන් පිරිස කාලයත් සමග ගහනයෙන් ඉවත්ව යාම නිසා ඔවුන්ගේ ජාන ගහනයෙන් ඉවත් විය.  මේ අනුව ගහනයක ජාන සංඛ්‍යාතය අනුයාත පරපුරෙන් පරපුරට වෙනස් වීමේ ක්‍රියාවලියක් ජෛව පරිණාමයේදී සිදුවේ.



ජෛව පරිණාමය යන්න වඩාත් නිවැරදි ව අර්ථ දැක්වෙන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ජීවී ගහනයක ජාන සංඛ්‍යාතයේ සිදු වෙන වෙනස් වීමක් යනුවෙනි. ජෛව පරිණාමයට ලක්වනුයේ යම් විශේෂයක සමස්ථ ගහනයම මිස එහි තනි සාමාජිකයකු නොවේ.



පරිණාමික වෙනස්වීමක් සිදු වීමට වසර මිලියන ගණනාවක් හෝ ඊට වැඩි කාලයක් ගත විය හැකි අතර මුල්ම ජීවය බිහිවු ජලජ පරිසරයේ සිට මත්ස්‍ය කාණ්ඩයකින් උභය ජීවීන් ඇති වීමේ සිට උරග කාණ්ඩයකින් පක්ෂීන් හා ක්ෂීරපායීන් ඇති වීම ආදී පරිණාමික වෙනස් කම් කෙටි කාලයක දී නොව වසර මිලියන ගණනාවක් දක්වා දිවෙන අතීතයක් ඇති වෙනස්කම්ය.




නවීන තාක්ෂණය හා විද්‍යාත්මක පරීක්ෂණ මගින් පරිණාමීය කාලය කෙටි කිරීමට විද්‍යාඥයින් සමත්ව ඇති අතර උදාහරණ ලෙස වරණීය හා කෘතීම අභිජනන ක්‍රම මගින් මිනිසාට ප්‍රයෝජනවත් සත්ත්ව හා ශාක වර්ග නිපදවා ඇත. මෙලෙස නිපදවු සතුන් අතර අධික කිරි ප්‍රමාණයක් නිපදවන Freshian එලදෙනුන් හා රෝග වලට ඔරොත්තු දෙන  Hayline  හා  Babcook වර්ගයේ කුකුළු විශේෂ ද අධික අස්වැන්නක් හා රෝග වලට ඔරොත්තු දෙන BG 379-2 හා BG 276-5 යන වී වර්ගද ජෛව තාක්ෂණයෙන් නිපදවා ඇත.





පරිණාමය සිදු වන බවට පැහැදිලි  සාක්ෂ්‍ය ලබා ගෙන ඇත්තේ සත්ව ගහනයක ජාන සංඛ්‍යාතයේ සිදු වන වෙනස් වීම් නිර්ණය කිරීමෙනි.

තුෂංග හේරත්,
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
හාලිඇල

0 comments:

Post a Comment