August 2, 2019

තුවාල සුව කිරීම සඳහා ජෙලිෆිෂ් යොදා ගැනීම.

දියවැඩියාවේ වඩාත් භයානක ප්‍රතිවිපාකවලින් එකක් වන්නේ නිදන්ගත තුවාල වලට වැඩි අවදානමක් තිබීමයි. බටහිර ලෝකයේ මෙම දියවැඩියා රෝගයේ අනුපාතය අහස උසට නැඟෙත්ම, නිදන්ගත තුවාල මගින් සිදුවන හානියද වැඩිවේ. එක්සත් ජනපදයේ පමණක් මෙම ගැටලුවේ වාර්ෂික ආර්ථික පිරිවැය දැන් ඩොලර් බිලියන 20 ඉක්මවා ඇති බවට ගණන් බලා තිබේ. මිට අමතරව සෑම රටකම පාහේ දියවැඩියා රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ අගයක් වේ.

මැට්‍රික්ස් මෙටලෝ ප්‍රෝටීනේස් (matrix metalloproteinases) අනවශ්‍ය ලෙස පැවතීම හේතුවෙන් තුවාල නිදන්ගත වේ. සාමාන්‍යයෙන් තුවාලයක සිදුවූ විට ආරම්භදී ඇතිවන දැවිල්ල සදහා  මෙම එන්සයිම ප්‍රතිචාර දක්වයි. නිරෝගී පුද්ගලයෙකු තුළ, ආරම්භක අවස්ථාවෙන් පසුව මෙම ප්‍රෝටීන තුවාලයෙන් ඉවත් කර තුවාලය සුව කිරීමේ ක්‍රියාවලියේ ඊළඟ පියවර ක්‍රියාත්මක විමට ඉඩ ලබා දේ. මෙම එන්සයිම ඵලදායී ලෙස ඉවත් නොකිරීම එනම් දැවිල්ල අවධිය අඛණ්ඩව පැවතීම නිසා සාමාන්‍ය සුවවීම වැළැක්වීමෙන් තුවාල නිදන්ගත විය හැකිය.
තුවාලයකට collagen (කොලජන්/ සත්ව පටකවල ඇති ප්‍රෝටීන් විශේෂයක්) යෙදු විට, මැට්‍රික්ස් මෙටලෝ ප්‍රෝටීනේස් ඉවත් කර තුවාලය සුව කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට හැකි වේ. සාමාන්‍යයෙන් කොලජන් ලබා ගන්නේ එළදෙනුන්ගෙනි. අවාසනාවකට මෙන්, විවිධාකාර ගව රෝග පැතිරීමේ අවදානම හේතුවෙන් මෙම ප්‍රවේශයේ විශ්වීය ප්‍රවේශය සීමිතය.මේනිසා ලාභදායී, පහසුවෙන් ලබාගත හැකි සහ ආරක්ෂිත කොලජන් ප්‍රභවයක් ස්ථාපිත කිරීමේ උත්සාහයක දී, ජාත්‍යන්තර කණ්ඩායමක් මෑතකදී ජෙලිෆිෂ් කොලජන් ශක්‍ය විකල්පයක් විය හැකිදැයි සොයා බැලීය.
රුපයෙන් පෙන්වා ඇති තුවාල වෙළුම ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ. ඒවානම් ජෙලිෆිෂ් කොලජන්, ජෙලිෆිෂ් වලින්ම  ව්‍යුත්පන්න කර ඇති “qmucin” නම් ප්‍රෝටීනය සහ polycaprolactone (පොලිකාප්‍රොලැක්ටෝන්) නම් කෘතිම බහු අවයවය වේ. මෙම සංරචක අතර පරමාදර්ශී අනුපාතය සහ වඩාත් ඵලදායී පිරිසැකසුම් තාක්‍ෂණය තීරණය කිරීම සඳහා කණ්ඩායම විසින් පරිපූර්ණ පරීක්ෂණ මාලාවක් පවත්වන ලදී.

පර්යේෂණ කණ්ඩායම මෙම මූලාකෘති වෙළුම සමඟ ප්‍රතිබැක්ටීරීය කාරකයක් කාවද්දන ලදී. ඉන්පසු ඔවුහු මෙලෙස සංවර්ධනය කළ මූලාකෘති වෙළුම් වලින් ප්‍රතිකාර කළ ඌරන්ගේ තුවාල සුව වීමේ ප්‍රගතිය සාමාන්‍ය වාණිජමය තුවාල සුවකිරීමේ  වෙළුම් වලින් ප්‍රතිකාර කළ ඌරන්ගේ තුවාල සුවවීම සමඟ සංසන්දනය කළහ. වෙළුම් දෙකම සුව කිරීමට පහසුකම් සපයනවා පමණක් නොව, සුව කිරීමේ ක්‍රියාවලියේ සමහර අංග සැබවින්ම ජෙලිෆිෂ් පදනම් කරගත් මූලාකෘති වෙළුම් සමඟ වේගයෙන් ඉදිරියට යන බව සොයා ගන්නා ලදී.
තුවාලකරුවන්ගේ වෙළුම්  සඳහා ආරක්ෂිත, විශ්වාසදායක ද්‍රව්‍ය ප්‍රභවයක් ලෙස ජෙලිෆිෂ් භාවිතය පිළිබඳ වැඩිදුර පර්යේෂණ සඳහා මෙම යහපත් ප්‍රතිපල  හේතු වනු ඇතැයි පර්යේෂකයෝ විශ්වාසය පල කරති.

අන්තර්ජාලයේ පිළිගත් ප්‍රභව ඇසුරෙන් සකස්කළේ :හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment