August 9, 2019

අභ්‍යවකාශයේ උපදින දරුවෝ


අභ්‍යවකාශ ගත කළ සලමන්දරාවන්, මත්ස්‍යයින් සහ මීයන් ඇතුළු විවිධ ගර්භනී සතුන් පිළිබඳව විද්‍යාඥයින් විසින් අධ්‍යයනය කර ඇති නමුත් ගැබිණි මව්වරු අභ්‍යවකාශයට යවා නැත. කාන්තාවන් 60 කට වැඩි පිරිසක් අභ්‍යවකාශයට ගොස් ඇතත්, සංචාරය අතරතුර කිසිවෙකු ගැබ්ගෙනද නැත.

එහෙත් අනාගත අභ්‍යවකාශ ජනපද සහ අඟහරු ග්‍රහයා මත ඇති නගර ගැන කතා කිරීමත් සමඟ, යම් දවසක පෘථිවියෙන් ඔබ්බට අභ්‍යවකාශයේ හෝ කොතැනක හෝ දරුවන් බිහි කිරීමට අවස්ථාවක් උදා විය හැක. එමඟින් සිත්ගන්නාසුලු ප්‍රශ්න කිහිපයක් මතු වේ. එය කෙබඳු වනු ඇත්ද? අභ්‍යවකාශ ළදරුවන්ගේ රුව කෙසේද? අභ්‍යවකාශයේ උපත ලබා දීම පෘතුවියේදී දරුවන් බිහිකිරීමට වඩා වෙනස් වන්නේ කෙසේද?

වඩාත්ම පැහැදිලිව පෙනෙන වෙනස වන්නේ අඩු ගුරුත්වාකර්ෂණ පරිසරයයි. දරුවා පිටතට තල්ලු කිරීමේ අවස්ථාවේදී පෘථිවියේ ගුරුත්වාකර්ෂණ ආධාරයෙන් තොරව මවට එය වඩාත් අපහසු වනු ඇත. තවද, අනාගතයේදී  කාන්තාවන් අභ්‍යවකාශයේ ස්ථිරව ජීවත් වූවා නම්, ඔවුන් ගැබ්ගැනීමේදී ඇතිවිය හැකි සමහර අවදානම් අවස්ථා පෘථිවියේදී අත්දැකීමට වඩා වැඩි වනු ඇත.

පෘථිවියේ ගුරුත්වාකර්ෂණ ආතතියෙන් තොරව ජීවත්වීමේදී ශරීරයේ අස්ථිවල ඝනත්වය අඩු වේ. නිදසුනක් වශයෙන්, අභ්‍යවකාශයේ ගත කරන සෑම මාසයකම ගගනගාමීන්ගේ අස්ථිවල ඝනත්වය 1% සිට 2% දක්වා ප්‍රමාණයකින් අඩු වන අතර, එය විශේෂයෙන් දරු ප්‍රසූති ක්‍රියාවලියේදී අස්ථි බිඳීමක් සිදුවීමට වැඩි විභවයක් ඇති කරයි. අස්ථි බිඳීම් සහිත කාන්තාවන් ස්වාභාවික දරු ප්‍රසුතිය මුළුමනින්ම වළක්වා ගත යුතු බව වෛද්‍යවරු නිර්දේශ කරති. එයින් අදහස් කරන්නේ අභ්‍යවකාශයේ දරු ප්‍රසුතිය සඳහා ස්වාභාවික ක්‍රම වෙනුවට වෙනත් වෛද්‍ය ක්‍රම භාවිතා කළ යුතු බවයි.

අප උපත ලබා දෙන ආකාරය අපගේ ව්‍යුහයට බලපාන බව අපි දැනටමත් දනිමු. නිදසුනක් වශයෙන්, අපගේ මව්වරුන්ගේ උපත් මාර්ගවල ප්‍රමාණයෙන් අපගේ හිසෙහි ප්‍රමාණය සීමා වේ. එනිසා සැත්කම් මගින් සිදුකරන ප්‍රසුති වලින් උපදින ළදරුවන්ගේ හිසෙහි ප්‍රමාණය සාපේක්ෂව සුළු වශයෙන් හෝ විශාල විය හැකිය. එබැවින් අභ්‍යවකාශයේ උපදින ළදරුවන්ගේ හිස්වල ප්‍රමාණයේ වෙනසක් දක්නට ලැබෙනු ඇත. අපේ වර්ණයේද වෙනසක් ඇති විය හැකිය. එයට හේතුව cosmic (කොස්මික්) කිරණ වැනි හානිකර අභ්‍යවකාශ විකිරණවලින් අභ්‍යවකාශයේදී අපට අඩු ආරක්ෂාවක් ඇත. එවිට එයට ප්‍රතිරෝධය දැක්වීම සඳහා පෘථිවියේ පාරජම්බුල හිරු එළියෙන් අපගේ සම ආරක්ෂා කරන melanin (මෙලනින්) වැනි නව වර්ගයේ සම වර්ණකවලින් පරිණාමය සිදුවිය හැකිය. එයින් අදහස් කරන්නේ පෘථිවියෙන් ඔබ්බට ජීවත්වන අනාගත පරම්පරාවන් විවිධ සමේ වර්ණයන් සහිත මිනිසුන් ලෙස පරිණාමය වන බවයි.

ශරීරයේ ඇති මෙලනින්ප්‍රමාණය වැඩි වන තරමට සම අඳුරු වේ. ඒනිසා අභ්‍යවකාශයේ වෙසෙන මිනිසුන්ට කාලයත් සමඟ අඳුරු සමක් ඇතිවිය හැකි බව සමහරු අනාවැකි පළ කරති. කෙසේවෙතත් එවැනි වෙනස්වීම් සඳහා පරම්පරා ගණනාවක කාන්තාවන්ට අභ්‍යවකාශයේ උපත් ලබා දීමට සියවස් හෝ සහස්‍ර ගණනාවක් ගතවනු ඇත. අවසානයේදී, අභ්‍යවකාශයේ ජීවත්වන මිනිසුන් පෘථිවියේ මිනිසුන්ට වඩා වෙනස් විය හැකි අතර ඔවුන් විවිධ විශේෂයක් ලෙස සැලකීමට සිදුවන විභවයක් පවතී යයි වාර්තාවේ සඳහන් වේ.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment