July 25, 2019

ඊශ්‍රායලයෙන් රථවාහන සඳහා අනාගත චැසි මෝස්තර

දෙමුහුන් සහ විදුලි බැටරි වලින් ධාවනය වන රථවාහන විශේෂ කොට ඒවායේ සැලසුම් සහ කාර්යයන් වෙනුවෙන් නව ප්‍රවේශයක් හඳුන්වා දීම සඳහා ටෙල් අවිව් හි පිහිටි REE සමාගම වසර හයක සංවර්ධන හා පර්යේෂණ ක්‍රියාවලියකින් පසුව නව මාදිලියේ අනාගත චැසි මෝස්‌තරයක් නිර්මාණය කර තිබේ. දෙමුහුන් සහ විදුලි බැටරි වලින් ධාවනය වන රථවාහන වෙළඳපොළ, විශේෂයෙන් ආකර්ශනීය වන නමුත් 2018 දී විකුණන ලද ඒකක මිලියන දෙකක් පමණක් වේ. එය පොදු වාහන වෙළඳපොළහි සාපේක්ෂව කුඩා අගයකි. මෙම වර්ගයේ රථවාහන මුහුණ දෙන ප්‍රධාන අභියෝග දෙක වන්නේ පිරිවැය සහ සැපයුම් ය. පිරිවැය පහත වැටෙන විට පවා බැටරි ඇසුරුම් කරදරකාරී හා මිල අධික වන අතර යටිතල පහසුකම් ලබාදිම සඳහා විශාල ආයෝජනයක් අවශ්‍ය වේ.

මෙම අභියෝග සඳහා පිළිතුරු සෙවීමට උත්සාහ කළ ඊශ්‍රායල් සමාගම රථවාහනවල  මෝටර (motor), සුක්කානම් (steering), අවලම්බන (suspension),  ඩ්‍රයිව්ට්‍රේන් (drivetrain), සංවේදක (sensing), තිරිංග (brakes), තාප (thermal) යනාදී පද්ධති සහ ඉලෙක්ට්‍රොනික උපකරණ සියල්ලම වාහනයේ රෝදවලට ඒකාබද්ධ වන සම්පූර්ණයෙන්ම පැතලි හා මාපාංකිත (මොඩියුලර්/modular) වේදිකාවක් නිර්මාණය කළේය. එනම් මීට පෙර මෝටර් රථයේ ආවරණය / පියස්ස (hood) යට පිහිටි මෙම  සියලුම සංරචක දැන් වාහන පදනමට ඇතුළත් වන අතර අභ්‍යන්තර රෝද අවකාශයේ විදුලි මෝටර සහ කුඩා ගියර් පෙට්ටිය අඩංගු වේ. මෙම නව සැලසුම (චැසි මෝස්තරය) විදුලි හා ස්වයංක්‍රීය වාහන විප්ලවයට තීරණාත්මක එකතු කිරීමක් වන අතර එය SUV රථ (ක්‍රීඩා උපයෝගීතා වාහන), ට්‍රක් රථ සහ පුද්ගලික මෙන්ම පොදු වාහන ආකෘති සඳහා භාවිතා කිරීමටද අනුගත විය හැකි බව වාර්තාවේ.

විදුලි වාහන නිපදවීමේදී පුලුල්ව පැතිර ඇති වාහන විද්‍යුත්කරණය බල ගන්වන ආකාරය මූලික වශයෙන් වෙනස් කිරීම මෙහි විශේෂත්වය ලෙස නව නිපැයුම්කරුවන් පවසන අතර.සැලසුමේ පහළ ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රය කාර්යක්‍ෂමතාව උපරිම කරමින් වේගවත් බව සහ ස්ථාවරත්වයට සහාය වේ. පැතලි වේදිකාව මඟින් වාහනයේ බර සියයට 33 කින් අඩු කරනු ඇති අතර, ගමනක් සඳහා වැඩි බරක් පැටවීමට ඉඩ සලසමින් අවකාශය සියයට 67 කින් වර්ධනය කිරීම නිසා පිරිවැය අඩු කිරීමට සහ කාර්යක්ෂමතාව වැඩි කිරීමට හැකියාව ලැබෙන බව ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

රෝද පුටු සඳහා නව තාක්‍ෂණය යොදා ගැනීමෙන් වේදනාව අඩු කර සුවපහසුව වැඩි කරයි. වසර තුනක කාලයක් තුළ රෝද පුටු 2,000 කට රෝද සැපයීම සඳහා පසුගිය වසරේදී එක්සත් ජනපද ප්‍රවීණයන්ගේ  කටයුතු දෙපාර්තමේන්තුව ඩොලර් මිලියන 4.5 ක් වැය කිරීමට එකඟ වී තිබේ. තවද විදුලි බයිසිකල් වලදී නව තාක්ෂණික පද්ධතිය, ධාවන කටයුතු වඩාත් කාර්යක්‍ෂම කරන බවත් මුදල් හා ශක්තිය ඉතිරි කරන බවත් වාර්තාවේ සඳහන් වේ.


සාමාන්‍ය වාහනයක ඇති අවලම්බන (suspension),  ඩ්‍රයිව්ට්‍රේන් (drivetrain), සංවේදක (sensing), තිරිංග (brakes), තාප (thermal) යනාදී පද්ධති සහ ඉලෙක්ට්‍රොනික උපකරණ අනාගත චැසි මෝස්තරයේ පිහිටා ඇති ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා මෙම වීඩියෝ දර්ශන ඉදිරිපත්කර ඇත.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment